Life
දරුවොත් ඕනෑ හැබැයි වෙලාවට
අඩු වයසේ ගැබ් ගැනීම හිතනවාට වඩා අමාරුයි
මෙරට යෞවනියන්ගේ මරණවලට ප්‍රධාන හේතුව යොවුන් ගැබ් ගැනීම් සහ ගබ්සාය. ලංකාවේ වසරකට ගැබ් ගන්නා කාන්තාවන් අතරින් 6.17%ක් අඩු වයසින් සිදු වන අනවශ්‍ය පිළිසිඳ ගැනීම්ය.
මිලියන විසි එකක් පමණ වන ලංකාවේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ නව යොවුන් වියෙහි පසු වෙති. ඒ අනුව සෑම පුද්ගලයන් පස් දෙනකුගෙන් එක් අයෙක් අවුරුදු 10ත් 19 අතර වයස් කාණ්ඩයට අයත් වෙති. මේ අතරින් නව යෞවන වියේ පසු වන දැරියන් මුහුණ පාන ප්‍රධාන අභියෝගයක් ලෙස යොවුන් වියෙහි ගැබ් ගැනීම් හඳුනාගෙන තිබේ. 2015 පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත අනුව 2013 වසරේදී සිදු වී ඇති නව යොවුන් ගැබ් ගැනීම් සමස්ත දරු පිළිසිඳ ගැනීම්වලින් 5.3%කි. අවුරුදු 19ට අඩු කාන්තාවක පිළිසිඳ ගැනීම නව යොවුන් වියේ ගැබ් ගැනීමක් සේ සැලැකේ.
යොවුන් වියේ පසු වන්නන් මුහුණපාන තවත් අභියෝගයක් වන්නේ ඔවුන් අලස ජීවන රටාවකට හුරු වී තිබීමයි. මේ කුසීත ජීවන රටාව හේතුවෙන් වත්මන් යොවුන් පරපුර ස්ථුලතාව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදය රෝග සහ පිළිකා වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ අවදානම ද ඉහළ ගොස් තිබේ. ළමා කාලයේ සිට අලස ජීවන රටාවකට හුරු වීම මෙයට හේතුවයි.
යොවුන් ජනගහනයෙහි නිරෝගීභාවය රටෙහි ආර්ථික හා සමාජීය සංවර්ධනය කෙරෙහි ඍජුවම බලපාන්නකි. එහෙයින් යොවුන් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වර්තමානයෙහි සිදු කරන ආයෝජනය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම විහිද යන ඵලදායී ආයෝජනයක් වේ. යොවුන් වියෙහි බාලිකාවන් උදෙසා කරනු ලබන ආයෝජනය රටක අනාගත පරම්පරාවෙහි නිරෝගී භාවය පිණිස හේතු වන්නේ අද යෞවනිය හෙට දින නිරෝගී දරු පරපුරක් බිහි කරන මවක වන බැවිනි.
යෞවනියගේ සුවසෙත පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ ඇයගේ ළමා වියෙහි පටන්ය. කුඩා කල දියණියට ලබා දෙන පෝෂණය ඉතා වැදගත් වන්නේ අනාගතයෙහි නිරෝගී දරුවන් බිහි කිරීම සඳහා ඇය සිතින් ද ගතින් ද සවිමත්ව සිටිය යුතු හෙයිනි. මෙහිදී යෞවනියන්ට නිසි පෝෂණය ද ශාරීරික ක්‍රියාකාරකම් හා ගුණාත්මක අධ්‍යාපනය ද සමව ලැබිය යුතුය. ඒ, පවුලක සෞඛ්‍යය හා යහපැවැත්ම රඳා පවතින්නේ අම්මා මත වන බැවිනි.
වර්තමාන සමාජයෙහි පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් නව යොවුන් දියණියට මෙන්ම පුතුට ද එක සෙයින්ම දෙමවුපිය ආදරය හා අවධානය හිමි වීම වැදගත් වේ. අන්තර්ජාලය, ජංගම දුරකථනය, මත්ද්‍රව්‍ය හා අයහපත් මිතුරු ඇසුර යන සියල්ල ඔබේ යොවුන් දූපුතුන්ගේ අනාගතය අඳුරු කරන්නට මිතුරු වෙසින් එන සතුරෝ වෙති. දරුවන්ට ආදරය හා රැකවරණය අවශ්‍ය වන්නේ ළමා වියේදී පමණක් නොවේ. ජීවිතය පිළිබඳ නිවැරැදි තීන්දු තීරණ ගැනීමට තරම් මොළය වර්ධනය නොවුණු යොවුන් වියේදී ඔවුනට දෙමවුපියන්ගේ ආදරය රැකවරණය හා මඟපෙන්වීම අත්‍යවශ්‍ය වේ.
යොවුන් වියේදී දරුවා ශාරීරිකව ශීඝ්‍රයෙන් වර්ධනය වේ. එහෙත් ජීවිතය හා අනාගතය පිළිබඳ වැදගත් තීන්දු - තීරණ ගැනීමට උපකාරී වන මොළයේ ඉදිරිපස කොටස වර්ධනය වීමට වයස අවුරුදු 20 - 25ක් පමණ ගත වන බව වෛද්‍ය පර්යේෂණවලින් හඳුනාගෙන තිබේ. යොවුන් වියේ දරුවන්ගේ ශාරීරික වර්ධනය හා මොළයේ ඇති වන හෝමෝනවල බලපෑම් හේතුවෙන් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණය වීම, වැඩිවියට පත්වීම, ලිංගික ක්‍රියාවන් කෙරෙහි ඇතිවන කුතූහලය හා ඇල්ම වර්ධනය වුණ ද විවාහය හා ජීවිත සහකරුවා තෝරා ගැනීම වැනි අනාගතයට බලපාන වැදගත් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය මානසික ශක්තිය සපයන මොළයේ ඉදිරිපස කොටස ‘පූර්ව මස්තිෂ්ක බාහිකය’ නම් වූ කොටස හොඳින් වර්ධනය වන්නේ නැත. එහෙයින් ජීවන සහකරුවන් තෝරා ගැනීම, ලිංගික සබඳතා හෝ රැකියා වැනි වැදගත් කරුණු පිළිබඳ නිවැරැදි තීරණ ගැනීමට ඔවුනට හැකියාවක් නැතැයි මනෝ විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා පවසයි.
යොවුන් ප්‍රේමයේ නාමයෙන් කාමයෙන් මුළා වුණු යෞවනියන් ගර්භිණී භාවයට පත් වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ කල් තියා ඒ අනතුර හැඳින ගැනීමේ හැකියාව ඔවුන් වෙත නොමැති වන හෙයිනි. යොවුන් වියෙහි ගැබ් ගන්නා දැරියන් බොහෝ විට සියදිවි නසාගැනීමට පෙලඹෙන්නේ ද නිවැරැදි තීන්දු - තීරණ ගැනීමට ඔවුන්ට නොහැකි වන හෙයිනි. යොවුන් වියෙහි ගැබ් ගන්නා යෞවනියන් ගෙන් 8.3%ක් සියදිවි නසාගැනීමට තැත් කරන බව 2012 - 2013 ජාතික යෞවන සෞඛ්‍ය සමීක්ෂණයෙන් හෙළි වී තිබේ. මෙරට වයස අවුරුදු 15 - 19 අතර යෞවනියන්ගේ මරණවලට ප්‍රධාන හේතුව යොවුන් වියේදී සිදු වන ගැබ් ගැනීම් සහ ගබ්සා බව ද එම සමීක්ෂණයෙන් තවදුරටත් හෙළි වී තිබේ. ලංකාවේ වසරකට ගැබ් ගන්නා කාන්තාවන් අතරින් 6.17%ක් අඩු වයසින් සිදු වන අනවශ්‍ය පිළිසිඳ ගැනීම්ය. මෙරට අවුරුදු 15 - 19 අතරේ දැරියන් දහසකින් විසි අටදෙනෙක් මෙලෙස අඩු වයසෙන් ගැබ් ගනිති. 2012 වසරේ මේ අන්දමට අඩු වයසෙන් ගැබ් ගත් යෞවනියන් එකොළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මේ මරණ සියල්ලට හේතු වී ඇත්තේ ප්රසවයේදී ඇති වූ සංකූලතා, අධික රුධිර වහනය හා ගබ්සාය. අවාසනාව වන්නේ මේ මරණ සියල්ල වළක්වාගත හැකිව තිබූ ඒවා වීමයි.
අඩු වයසෙන් ගැබ් ගන්නා දැරියකගේ ප්‍රජනක ඉන්ද්රිය පද්ධතිය ගැබක් දැරීමට හෝ ප්රසවය සඳහා ප්‍රමාණවත් තරම් ශක්තිමත්ව වර්ධනය වී නැත. දරුවකුට මවුකිරි දී පෝෂණය කිරීම සඳහා ද එවැනි දැරියක මානසිකව හෝ ශාරීරිකව සූදානම් නැත. මෙලෙස උපදින ළමයි බොහෝ විට මන්ද පෝෂණයෙන් පෙළෙන, අඩු බරැති දරුවෝය. ඔවුන් නිරෝගීව හදාවඩාගැනීම ඉතා අසීරුය. අනෙක් අතට ගැබිනි බව නිසා අධ්‍යාපනය ලැබිය යුතු වයසේ පසුවන ‘ළමා මවගේ’ ඉගෙනීම් කටයුතු ද අතරමඟ නවතී. සමාජිය වශයෙන් ද ඇයට එල්ල වන පීඩාව ඉතා දැඩිය.
ළමා හා යොවුන් ගර්භිණීභාවය වර්තමාන ලෝකයේ කාන්තාවන් මුහුණ පානා විශාල ගැටලුවක් බවට පත්ව තිබේ. ලොව පුරා වයස අවුරුදු 15 - 19 අතර වයස් කාණ්ඩයේ දැරියෝ වසරකට මිලියන දාසයක් දරුවනට උපත ලබා දෙති. එහෙත් අවාසනාවකට මෙන් ළමා ගර්භිණින්ගෙන් මිලියන තුනක්ම ගබ්සාවලට ලක් වෙති. ශ්‍රී ලංකාවේ යොවුන් ගර්භිණීන් වැඩිපුරම වාර්තා වන්නේ නැගෙනහිර, උතුරුමැද පළාත්වලින් හා වතුකරයෙනි. දිළිදු බව, අඩු අධ්‍යාපනික හා සමාජීය පසුබිම හා අනාරක්ෂිත බව මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
යෞවනියන් මුහුණ දෙන මේ ගැටලුව විසඳා ගැනීම සඳහා පවුල හා දෙමවුපිය සුපරීක්ෂණය වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ගැහැනු දරුවා හොඳින් පෝෂණය කිරීම, ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සහ ආදරය හා රැකවරණය ප්‍රමාණවත් පරිදි සැලසීම මඟින් ඇයට සුරක්ෂිත සාර්ථක අනාගතයක් උදාකර දිය හැකිය. ළමයින්ගේ කුසලතා හඳුනාගෙන, ඒවා සංවර්ධනය කරගැනීමට ඔවුන්ට උපකාර කළ යුතුය.
ආහාර අධ්‍යාපනය හා ශාරීරික ක්‍රියාකාරකම් කොතරම් වැදගත් වුවද දරුවාගේ නිර්මාණශීලී චින්තනය දියුණු කරමින් ජීවන කුසලතා සංවර්ධනය නොකළහොත් සෞඛ්‍යසම්පන්න යහපත් ඵලදායි පුරවැසියන් බිහි කිරීමට දෙමවුපියන් හා වැඩිහිටියන් දරන උත්සාහය නිෂ්ඵල ව්‍යායාමයක් වනු නිසැකය.
‘යෞවනියන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සුව දිවියක් සඳහා කෙරෙන ඵලදායී ආයෝජනයකි’ යන මැයෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙහි පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය ඇසුරෙනි.
Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks